අභිධර්මයේ මූලික කරුණු

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

අභිධර්මයේ මූලික කරුණු

(දොළොස්වන මුද්‍ර‍ණය)

මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි.

2551/2007

ලේකම්ගේ සටහන්....

සූත්‍ර‍ පිටකයේ එන දහම් කරුණු ගැඹුරින් සළකා බැලූ අභිධර්මය, මෙකල සාමාන්‍ය ජනතාව අතර ප්‍ර‍චලිත වීමට රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ පොත් පත් ද හේතු වූ බව ප්‍ර‍කට කරුණකි. අභිධර්මය පිළිබඳව නාහිමියන් තුළ ඇති නිරවුල් අවබෝධය උන්වහන්සේගේ ග්‍ර‍න්ථාවලියෙන් ප්‍ර‍කට වන අතර අභිධර්මයේ මූලික කරුණු, අභිධර්ම මාර්ගය හා පට්ඨාන මහා ප්‍ර‍කරණ සන්නය වැනි පොත් වලින් එය වඩාත් පැහැදිලි වෙයි.

ලෝකය අනිත්‍ය වශයෙන් දක්නට සිත හා අනෙකුත් වස්තූන්ගේ ස්වභාවයත්, එක් එක් වස්තුවක පැවැත්ම හා පෙනෙන ආකාරයත් තේරුම් ගැනීම අවශ්‍යය. භෞතික ලෝකයේ මායා රූපය තේරුම් ගැනීම සඳහා අභිධර්මය උගෙනීමෙන් ලැබෙන්නේ මහඟු උපකාරයකි.

නිතර ගැටුම් පවතින ලෝකයේ නො ගැටී, නො කලකිරී සිටීමට චිත්තස්වභාවයත්, අනිත්‍ය ස්වභාවයත් යම් පමණකින් වත් තේරුම් ගැනීම අවශ්‍යය. අභිධර්මය එම ස්වභාවය තේරුම් ගෙන යථාර්ථයට අනුව සිතීමට අපට අනුබල දෙයි. අවසන් පර්මාර්ථය වෙනස් වුවත් නවීන විද්‍යාව ද ලෝකයේ මේ එකාකාරී නොවන අනිත්‍ය තත්ත්වය තේරුම් ගන්නට මනස පොළඹවයි. ඒ විද්‍යාත්මක චින්තනය ඔස්සේ බටහිර ජාතීහු ජීවිතය සරලව දකිති. ඔවුන්ගේ මානව දයාව වැනි යහගුණ වැඩෙන්නේ ඒ විද්‍යාත්මක චින්තනය ඔස්සේ ය. එහෙත් ගැඹුරු ආගමික වූ දාර්ශනික චින්තාවලියක් ඇති සිංහල බෞද්ධයන් තුළ අවගුණ පැතිරෙන්නේ සංස්කෘතික වශයෙන් හා ආර්ථික ප්‍ර‍තිපත්තිවලින් අප වල්මත්ව සිටිනා නිසා ද?

යුද්ධය, පවුල් සාමාජිකයන් පිටරට යාම හා ලෙඩ දුක් කරදර වලින් ඇති වන මානසික කාන්සිය මඟ හරවා, හිතේ සැනසුම පතා බොහෝ දෙනා ආගම සොයා යති. එසේ නිවැරදි මග සොයා ගත නුහුනුවන්ගේ මනසට ඇතුළුව ලැගුම් ගන්නා ගැලවුම් කරුවන්ගේ හා වාදකරුවන්ගේ ග්‍ර‍හණයට හසු වූ බොහෝ දෙනා එයින් තෘප්තිමත් වෙමින් දවන්නන් වාලේ දුවති. සිතේ අසරණ කමට හොඳම පිහිට සිත තේරුම් ගැනීමයි. එසේ සිත ශක්තිමත් වුවහොත් සිත නිසා පවතින ශරීරය හා අනිත් සියලු සම්බන්ධතා විධිමත් කර ගැනීම අපහසු නොවේ.

2500 බුද්ධ ජයන්තියෙන් නිහඬව ඇරඹුණු රේරුකානේ මහනාහිමියන්ගේ ධර්‍ම ප්‍ර‍චාරක සේවය සිංහල බෞද්ධයන් තුළ සියුම් කම්පනයක් ඇති කළ බව උන් වහන්සේගේ පොත් සමාජගත වූ ආකාරයෙන් වැටහෙයි. මේ පොත් නිසා පැවිදි වුණු, භාවනාවට යොමු වුණු, යහමග ගත්, දහම තේරුම් ගත් බොහෝ දෙනාගේ ප්‍ර‍තිචාර එය සනාථ කරයි.

මේ පොත් පවත්වන්නට සැදැහැවතුන්ගෙන් ලැබෙන අනුග්‍ර‍හය හා පොත් මිලදී ගැනීමෙන් ඔබ දෙන සහාය මහෝපකාරී වෙයි. තව දුරටත් හැකිතාක් අඩු මිලට මේ සරල දහම් පොත් මාලාව ජනතාව අතට පත් කළ හැක්කේ ඔබේ අවධානය යොමු වී තිබුණොත්, ඔබ අනුග්‍ර‍හය දැක්වූවොත් පමණකි.

මෙහි සෝදුපත් කියවූ මාලනී ද, සංශෝධිත පරිඝනක සටහන් යෙදූ හොරණ රූ-මායා ග්‍රැෆික්ස් හි සාලිය ජයකොඩි මහතා ද, මනාව මුද්‍ර‍ණ කටයුතු නිමවූ සිකුරු ප්‍ර‍කාශක ගිහාන් අනුරංග ජයවර්‍ධන මහතා ඇතුළු කාර්‍ය්‍ය මණ්ඩලය ද, ආධාර - අනුබල දුන් සැදැහැවතුන් ද කෘතඥතාවයෙන් සිහි කරමි.

මෙවැනි කාර්‍ය්‍යයක මා මෙහෙය වූ විනයාලංකාර භික්‍ෂු වංශයත්, වෙසෙසින් මේ යුගයේ විහාරාධිපතිත්‍වය හා මණ්ඩලයේ ගරු සභාපතිත්‍වය දරමින් පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්‍ද හිමිපාණන් මේ යහ කාර්‍ය්‍යයෙහි මා පෙළඹවීමත් ස්තුතිපූර්වකව සිහි කරමි.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි

ගරු ලේකම්

ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්‍ෂණ මණ්ඩලය

2007 ඔක්තෝබර් මස 10 වන දින,

පොකුණුවිටදී ය.