අභිධර්මයේ මූලික කරුණු

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

ප්‍ර‍සාදයන් ගේ උත්පත්ති හේතු

රූප දකිනු කැමැත්තය, ශබ්ද අසනු කැමැත්ත ය, ගඳ දැන ගනු කැමැත්තය, රස විඳිනු කැමැත්ත ය, පහස විඳිනු කැමැත්ත ය යන මේ කරුණු පසට කාම තෘෂ්ණාවය යි කියනු ලැබේ. කාම තෘෂ්ණාව අප්‍ර‍හීණ සත්ත්වයන් විසින් කරන කර්මය කාම තෘෂ්ණාව සහාය කොට ඇත්තේය. කුශල වූ හෝ අකුශල වූ හෝ කර්මයකින් භවයෙහි සත්ත්වයා උපදින කල්හි හෝ උපන් පසු හෝ ඒ සත්ත්වයා තුළ අප්‍ර‍හීණ භාවයෙන් පැවති දකිනු කැමැත්ත වූ කාම තෘෂ්ණාවට අනුකූල වූ කර්මයෙන් චක්ෂුඃ ප්‍ර‍සාදය උපදවනු ලැබේ. අසනු කැමති බව වූ කාම තෘෂ්ණාවට අනුකූල පරිදි ශ්‍රෝත ප්‍ර‍සාදය උපදවනු ලැබේ. ගඳ දැනෙනු කැමති බව වූ තෘෂ්ණාවට අනුකූලව ඝ්‍රාණ ප්‍ර‍සාදය උපදවනු ලැබේ. රස විඳිනු කැමති බව වූ කාම තෘෂ්ණාවට අනුකූලව ජිහ්වා ප්‍ර‍සාදය උපදවනු ලැබේ. පහස විඳිනු කැමති බව වූ කාම තෘෂ්ණාවට අනුකූලව කාය ප්‍ර‍සාදය උපදවනු ලැබේ.