අභිධර්මයේ මූලික කරුණු

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

කාය ප්‍ර‍සාදය

කාය විඥානය ඉපදීමට හේතු වන පරිදි ස්ප්‍ර‍ෂ්ටව්‍යය යි කියනු ලබන පෘථිවි තේජෝ වායෝ යන භූත රූප තුන ගැටීමට යෝග්‍ය වූ කර්මයෙන් ජනිත භූතයන් ගේ ඔපය කාය ප්‍ර‍සාදය ය. එය පුළුන් රැසක පැතිරී සිටිනා තෙලක් මෙන් කෙස් ලොම් නිය ආදි පහස නො දැනෙන තැන් හැර මුළු සිරුරෙහි ම පැතිර කියන ලද පරිදි මහා භූතාදීන් ගේ උපකාර උපස්තම්භනාදියෙන් පවත්නේ ය. යම් කිසිවක් එහි ගැටුණු කල්හි කාය විඥානය එය ඇසුරු කොට උපදී. එයට පහස දැනීමය යි ද කියනු ලැබේ.