අභිධර්ම මාර්ගය
(දසවන මුද්‍රණය)
මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍රවර්ති, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි.
2549/2006
ලේකම්ගේ සටහන්....
අවුරුදු 2549 ක් පැරණි බුද්ධ දේශනාව ග්‍රන්‍ථාරූඪ කරන තෙක් හා ඉන් පසුවත් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ රැකගෙන ආ විවිධ නිකායගත, හීනයාන - මහායාන භික්‍ෂු පරම්පරාව ලෝක බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍රවෙයි. නිර්මාණවාදී ආගම්, දැනුම් ක්‍ෂෙත්‍රයෙන් පිටමං වන විට මානව චින්තනය අයාලේ යා නොදී රැකගත හැකි ආගමක් හා දර්ශනයක් ඉතිරි කර තබන්නට ගත් වෑයම සුළුපටු නොවන නිසා ය.
මේ දැනුම් සම්භාරය තුළ අභිධර්‍මය ද එක් කොටසකි. බුදුදහමේ විශේෂත්‍වය වන “විදර්ශනාව”, බෙදා බැලීම හා හේතු-ඵල න්‍යාය පදනම් කරගනී. අභිධර්‍මය අවධාරණය කරන්නේ එම න්‍යායයයි. අභිධර්‍ම පිටකය ධර්‍මයේ කොටසක් ලෙස සළකන භික්‍ෂු පර්ෂදයන් අතර, ඉතා කුඩා සිකපදයක් පවා වත් නොකර රක්‍ෂා කරන්නට ප්‍රතිඥා දුන් ථෙරීය භික්‍ෂු පර්ෂදය ගෙනා අභිධර්‍මය පසුකාලීන වර්‍ධනයකැයි ඉවත ලන්නට කිසිදු සාධාරණ හේතුවක් නොපෙනෙන්නේ අනික් කාහටත් වඩා නිර්මල වූ දහමක් රැකගන්නට උන්වහන්සේලාට තිබූ උවමනාව නිසා ය.
බුද්ධත්‍වය ලැබූ මොහොතේ තමන් අවබෝධ කොටගත් ධර්‍මය වටහා ගන්නට සමත් කෙනකු නැතැයි බුදුන් වහන්සේ කල්පනා කළේ එහි ඇති ගැඹුරු බව නිසා ය. දීර්‍ඝ කාලයක් ලෝකායත කරුණු ඔස්සේ පැවති සිතුවිලි දහරකට එය අලුත් දෙයක් නිසා ය. එහෙත් උන්වහ්නසේ දේශනා කළ දහම තේරුම් ගන්නට සමත් පිරිසක් සිටියහ. කල්යත්ම උන්වහන්සේගේ සමහර සූත්‍ර දේශනාවල අභිධර්‍ම න්‍යාය ප්‍රකට විය. සමහර ශ්‍රාවක - ශ්‍රාවිකාවෝ මේ ගැඹුරු දහම් න්‍යාය ප්‍රචලිත කළහ. බුදුන් වහන්සේගේ අභිධර්‍ම මාතිකා, නුවණින් අග්‍ර සැරියුත් හිමියන් විසින් තම ශිෂ්‍ය පරම්පරාවට විස්තාරිතව උගැන්වූ බව සාම්ප්‍රදායික පිළිගැනීම යි.
අභිධර්‍මය උගැන්ම හැමට ප්‍රිය වූවක් නොවේ. එදත් - අදත් එය එ සේම ය. අභිධර්‍මය “අබුද්ධ දේශිතයකැ” යි මුල්වරට අසන්නට ලැබුණේ අනුරපුර යුගයේ දී ය. බුද්ධඝෝෂ හිමියෝ (අත්‍ථසාලිනියෙන්) ඊට පිළිතුරු දුන්හ. රීස් ඩේවිස් ආදී උගතුන්ගේ පාලි සාහිත්‍ය පෙල ගැස්ම අනුව නැවත විශ්ව විද්‍යාල උගතුන් වෙතින් මේ මතය පලවිය. රේරුකානේ මහනාහිමියෝ (අභිධර්‍මයේ මූලික කරුණු) ඊට පිළිතුරු දුන්හ. නැවත මෙකල ධර්‍මකථික භික්‍ෂු පර්ෂදයක් විසින් මේ මතය මුදාහැර ඇත. සූත්‍ර දේශනා ඇසුරින් පමණක් බුදු දහම තේරුම් කරන මේ යතිවරයන් වහන්සේලා බුදුදහමේ එක් වැදගත් කොටසක් අවලංගු කරන්නේ නම් ආතර් සී. ක්ලාක් වියතාණන් දකින අනාගතයේ බුදුසමය ලබාගන්නා මුල්තැන ඊට ලැබිය හැකිද?
ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමත්, එහි ඇති වානිජ වටිනාකමත් මත සිංහල බෞද්ධයන් ඉන් ඉවත් කර බලය ලබාගැනීමේ ප්‍රයත්නය බොහෝ කලෙක පටන් පැවතෙන්නකි. මුලින් ම එය ආයුධ බලයෙන් සිදුවිය. වරෙක එය අධ්‍යාපනය ඔස්සේ චින්තාමය පරිවර්‍තනයෙන් සිදුවිය. රැකියාදීම් ආදී අල්ලස් ක්‍රමයෙන් තවත් වරෙක ක්‍රියාත්මක විය. පසුව විනයවර්‍ධන වේෂයෙන් හා තාපස වේෂයෙන් ආ පෙළඹවීමට බොහෝ දෙනෙක් රැවටුනාහ. සංස්කෘතික ආක්‍රමණයෙන් ආ පෙළඹවීමට ද බොහෝ දෙනා අසුවී සිටිති. සාමය හා ආධාර ඔස්සේ ආ පෙළඹවීමට පාලකයෝ ද හසුවූහ. තමන් ද නොදැන භික්‍ෂූන් වහන්සේත් මෙයට නතු වුවහොත් ඉරණම කුමක් වේද?
හේන්පිටගෙදර ඤාණසීහ, යක්කඩුවේ ප්‍රඥාරාම, රේරුකානේ චන්‍දවිමල වැනි නාහිමිපාණන් වහන්සේලාගේ දැනුම, ඕනෑකම හා නිර්භීත ප්‍රකාශ සිහිවන්නේ මේ පසුබිම තුළය.
2006.01.08 වන දිනට අභිධර්‍මය ඇතුළුව බුදුදහම සමාජයේ ප්‍රචලිත කරන්නට ලියූ රේරුකානේ නාහිමියන්ගේ පැවිද්දටත්, ශ්‍රී ලංකා ශ්වේජින් නිකායටත් සියවසරක් පිරෙයි. මෙවැනි අවස්ථාවක මේ සද්ව්‍යාපාරය සාර්ථක කරන්නට වෙහෙස වූ ගොඩිගමුවේ සෝරත, හේන්ගොඩ කල්‍යාණධම්ම, හේනේගම කල්‍යාණසිරි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාත්, අනුක්‍රමණිකාවන් ලියූ හර්බට් පතිරණ මහතාත්, කැපවීමෙන් මුද්‍රණයෙන් දායක වූ රත්නායක අප්පුහාමි, එම්.ජේ. පෙරේරා, කේ.ටී.ඒ. ජයවර්‍ධන යන මුද්‍රණාලයාධිපතිවරුන් පින් පමුණුවමින් සිහි කිරීම යුතුකමකි. එමෙන් ම අප සංරක්‍ෂණ මණ්ඩලයේ සාමාජිකව සිට දැනට නැති හොරණ වජිරඤාණ නාහිමියන් හා ඒ.ඩී.ටී. ජයවර්‍ධන, කරුණාසේන ජයලත් යන මහතුන් ද සිහිකරමි. එමෙන් ම විනයාලංකාරාරාමය හා එම භික්‍ෂු පරපුර පෝෂණය කර රැක ගැන්මට එදා-මෙදා කටයුතු කළ දායක පරපුර ද මා සිත පෙල ගැසෙයි.
තම මුද්‍රණ දැනුමින් අපත් දැනුවත් කරමින් පොත් මුද්‍රණයට දායක වන සිකුරු ප්‍රකාශක ගිහාන් අනුරංග ජයවර්‍ධන මහතාත්, පරිඝණක වර්‍ණ සංයෝජනයෙන් දායක වන සාලිය ජයකොඩි මහතාත් කෘතවේදීව සිහි කරමි.
නිබඳ මඟ පෙන්වන කිරිඔරුවේ ධම්මානන්‍ද සමිඳුන් හා උන්වහ්නසේගේ සහෝදර - ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ සහාය පිළිබඳව ද තෘප්තියෙන් සඳහන් කරමි.
තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්‍ෂණ මණ්ඩලය
2005 දෙසැම්බර් මස 08 වන දින,
පොකුණුවිටදී ය.