අභිධර්ම මාර්ගය

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

11. අහේතුක චිත්තයන්හි චෛතසික සංග්‍ර‍හය

අහේතුක සිත්වල යෙදෙන්නේ ඡන්දය හැර ඉතිරි අන්‍යසමාන චෛතසික දොළොස පමණෙකි.

අකුශල විපාක චක්ඛුවිඤ්ඤාණාදි සිත් පසෙහි සර්‍ව චිත්ත සාධාරණ සත පමණක් යෙදේ. සම්පටිච්ඡනයෙහි ඡන්ද - පීති - විරිය හැර අන්‍යසමාන චෛතසික දශය යෙදේ. සන්තීරණයෙහි යෙදෙන්නේ ද ඒ දශය ම ය.

කුශල විපාක චක්ඛුවිඤ්ඤාණාදි පසෙහි සර්‍වචිත්ත සාධාරණ සත පමණක් යෙදේ. සම්පටිච්ඡනයෙහි ඡන්ද - පීති - විරිය හැර අන්‍යසමාන දශය යෙදේ. සෝමනස්ස සහගත සන්තීරණයෙහි ඡන්ද - විරිය හැර අන්‍යසමාන එකොළොස යෙදේ. උපේක්ෂා සහගත සන්තීරණයෙහි ඡන්ද - පීති - විරිය හැර අන්‍යසමාන දශය යෙදේ.

අහේතුක ක්‍රියා පඤ්චද්වාරාවජ්ජන චිත්තයෙහි ඡන්ද - පීති - විරිය හැර අන්‍යසමාන චෛතසික දශය යෙදේ. මනෝද්වාරාවජ්ජනයෙහි ඡන්ද - පීති හැර අන්‍යසමාන එකොළොස යෙදේ. හසිතුප්පාදයෙහි ඡන්දය හැර අන්‍යසමාන දොළොස යෙදේ.