බෝධ්‍යංග
7 වන පාඩම
- සති සම්බොජ්ඣඞ්ගය
- ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය
- විරිය සම්බොජ්ඣඞ්ගය
- පීති සම්බොජ්ඣඞ්ගය
- පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය
- සමාධි සම්බොජ්ඣඞ්ගය
- උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය
මෙසේ බෝධ්‍යංග සතෙකි.
ලෝකෝත්තර මාර්ගය ඇති වන අවස්ථාවෙහි එය හා බැඳී ඇති වන්නා වූ ස්මෘති ධර්මවිචයාදි මේ ධර්ම සත සිතෙහි හැකිළෙන බව සෙලවෙන බව යනාදි උපද්‍රවයන් දුරු කරමින් අඩුවක් නැතිව මනා කොට සත්‍යාවබෝධය කිරීමට උපකාර වන බැවින් බෝධි නම් වේ. බෝධි නම් වූ ඒ ධර්ම සමූහයේ අඞ්ගයෝ (අවයවයෝ) බොජ්ඣඞ්ග නම් වෙති.
සති සම්බොජ්ඣඞ්ග යනු සතිපට්ඨානාදි නම් වලින් කියවුණු ස්මෘති චෛතසිකය ය. එය භාවනා කිරීමෙන් යෝගාවචරයොගේ සන්තානයෙහි ක්‍රමයෙන් වැඩී ලෝකෝත්තර මාර්ග චිත්තය උපදනා අවස්ථාවෙහි එය හා බැඳී සත්‍යාවබෝධයට උපකාර වෙමින් උපදනේ ය.
ධම්මවිචය සම්බොජ්ඣඞ්ග යනු ප්‍රඥා චෛතසිකය ය. විදර්ශනාවට භූමි වන නාම රූප ධර්මයන් අනිත්‍යාදි වශයෙන් මනා කොට විභාග කරන බැවින් ඒ ප්‍රඥාව ධර්මවිචය නම් වේ. ඒ ප්‍රඥාව විදර්ශනාවට භූමිවන සංස්කාර විෂයෙහි ක්‍රමයෙන් වැඩී ලෝකෝත්තර මාර්ග ඥානය වන්නේ ය.
විරිය සම්බොජ්ඣඞ්ග යනු සම්‍යක්ප්‍රධාන නාමයෙන් දැක්වුණු බලවත් වීර්‍ය්‍යය ය. එය ද අනුක්‍රමයෙන් වැඩී කුශල ධර්මයන් විෂයෙහි පසුබැසීම හැකිළීම සිදු කරන ක්ලේශයන් දුරු කොට ලෝකෝත්තර මාර්ගක්ෂණයෙහි දී සත්‍යාවබෝධයට සහාය වේ.
පීති සම්බොජ්ඣඞ්ග යනු ප්‍රීති චෛතසිකය ය. එය ද විදර්ශනා භූමිය වන සංස්කාරයන් කෙරෙහි භාවනා වශයෙන් වැඩී කුශල ධර්මයන් කෙරෙහි නො සතුටු වන ස්වභාවය දුරු කොට භාවනා වශයෙන් ක්‍රමයෙන් වැඩී මාර්ගක්ෂණයෙහි සත්‍යාවබෝධයට සහාය වන්නේ ය.
පස්සද්ධි සම්බොජ්ඣඞ්ග යනු කාය - චිත්ත පස්සද්ධි දෙක ය. භාවනා කිරීමෙහි දී එය ක්‍රමයෙන් වැඩී සිතෙහි දැවෙන තැවෙන ස්වභාවය දුරු කොට ශාන්ත ශීතල ස්වභාවයට පමුණුවා ලෝකෝත්තර මාර්ගක්ෂණයේදී සත්‍යාවබෝධයට සහාය වන්නේ ය.
සමාධි සම්බොජ්ඣඞ්ග යනු ඒකග්ගතා චෛතසිකය ය. එය ද භාවනාවෙන් ක්‍රමයෙන් වැඩී සිතෙහි නො සන්සුන් බව දුරු කරමින් සත්‍යාවබෝධයට සහාය වන්නේ ය.
උපෙක්ඛා සම්බොජ්ඣඞ්ග යනු තත්‍රමජ්ඣත්තතා චෛතසිකය ය. එය ද භාවනාවෙන් ක්‍රමයෙන් වැඩී සිතෙහි හැකිළෙන සැලෙන ස්වභාවය සම්පූර්ණයෙන් දුරු කරමින් මාර්ගක්ෂණයෙහි දී සත්‍යාවබෝධයට සහාය වන්නේ ය.