3. ප්රකීර්ණක චෛතසික සය
විතක්කය ය, විචාරය ය, අධිමොක්ඛය ය, වීරිය ය, පීතිය ය, ඡන්දය ය කියා ප්‍රකීර්‍ණක චෛතසික සයෙකි.
විතක්කය
අරමුණ කරා යන, අරමුණට නඟින ස්වභාවය විතක්ක නම් වේ. විතර්කය අරමුණට පැමිණෙන කල්හි එය හා උපදනා චිත්ත චෛතසිකයෝ ද එය අනුව අරමුණට පැමිණෙති. එබැවින් චිත්ත චෛතසිකයන් අරමුණට පමුණුවන ධර්මය විතර්කය යි ද කියනු ලැබේ. දුබල විතර්කය අප්‍රකට ය. එය ප්‍රකට වන්නේ ඕනෑ කමින් විතර්ක උපදවන කල්හි ය. කල්පනා කිරීම යයි කියනුයේ එසේ කිරීමට ය. එතෙක් සිත නො පැමිණි තැන්වලට පැමිණ වීමට, නො දත් දේ දැන ගැනීමට කරන උත්සාහයට කල්පනා කිරීම ය” යි කියනු ලැබේ.
විචාරය
විතර්කය පැමිණි අරමුණ පිරිමදින ස්වභාවය විචාරය නම් වේ. මෙහි අදහස් කරන පිරිමැදීම අරමුණෙහි ඇතිල්ලෙන, අරමුණෙහි පැතිරෙන ස්වභාවය ය. විතර්ක බලයෙන් අරමුණට පැමිණියා වූ සිත විචාරයේ බලයෙන් එහි පැතිරේ. ඔබා බලන්නාක් මෙන් කරයි. විතර්ක විචාර දෙකින් විතර්කය ඖදාරිකය. විචාරය සියුම් ය. එය අප්‍රකට ය. ඖදාරික වූ විතර්කය ඝණ්ටාවකට පළමුවෙනි ගැසීම මෙන් ද, සියුම් වූ විචාරය පළමු ඇති වූ ඝණ්ටා නාදය අනුව පසු ව ඇදෙන සියුම් හඬ මෙන් ද දත යුතු යයි කියා තිබේ. මේ උපමාවෙන් විචාරය විතර්කයට පසුව ඇති වන්නක් සේ හැඟෙන්නට පිළිවන. චෛතසික දෙකේ සැටි දැක්වීමට මේ උපමාව කියා ඇති මුත් ඒ දෙක පෙර පසු නොවී ඒකක්ෂණයෙහි ඇති වන ධර්ම දෙකක් සැටියට තේරුම් ගත යුතු ය.
අධිමොක්ඛය
අරමුණේ සැටි විනිශ්චය කර ගන්න ස්වභාවය අධිමොක්ඛ නම් වේ. මේ චෛතසිකය නිසා එසේ ද මෙසේ ද කියා දෙතුන් පැත්තකට නො ගොස් හරියට හෝ වේවා වැරදියට හෝ වේවා යම් කිසි එක් ආකාරයකින් සිතට අරමුණ ගත හැකි වන්නේ ය. මේ චෛතසිකය නැති නම්, සිත හරියට අරමුණ අල්ලා ගැනීමට නො සමත් වෙයි. මෙයත් තේරුම් ගැනීමට දුෂ්කර අප්‍රකට චෛතසිකයෙකි.
විරිය
කටයුත්තෙහි නො පසු බස්නා ස්වභාවය, පටන් ගත් දෙය සිදු වන තුරු ඉදිරියට යන ස්වභාවය වීර්‍ය්‍ය නම් වේ. කායික වීර්‍ය්‍යය - චෛතසික වීර්‍ය්‍යය කියා වීර්‍ය්‍ය දෙකක් ඇත්තේ ය. මෙහි අදහස් කරනුයේ චෛතසික වීර්‍ය්‍යය ය. ශරීර ශක්තියට කායික වීර්‍ය්‍යය යි කියනු ලැබේ. එය චෛතසික ධර්මයක් නො වේ.
පීතිය
සිත පිනා යන ස්වභාවය - මලක් මෙන් ප්‍රබෝධ වන, පිම්බෙන ස්වභාවය පීති නම් වේ. මෙය ඉතා ප්‍රකට ස්වභාවයකි.
ඡන්දය
ඒ ඒ දේවල් කරනු කැමැත්ත, කිරීමේ ඕනෑකම ඡන්ද නම් වේ. මෙය ලෝභයට මඳක් සමාන සේ පෙනෙන චෛතසිකයෙකි. එහෙත් ලෝභයෙහි මෙන් ඇලෙන ස්වභාවයක් ඡන්‍දයෙහි නැත. ඡන්දය ඇලීමෙන් තොර වූ ඕනෑකමෙකි. අනේක ප්‍රකාර ඡන්ද ඇත්තේ ය. ලෝභ සහගත සිත්වල ඇති වන ඡන්දය ලෝභයට අනුකූල ය. ලෝභයට විරුද්ධ සිත්වල ඇති වන ඡන්දය ලෝභයට විරුද්ධ ය.
සර්වචිත්ත සාධාරණ චෛතසිකයන් මෙන් සෑම සිතක ම යෙදෙන්නේ නැති ව, කුශලාකුශල ලෞකික ලෝකෝත්තරාදි සැම පක්ෂවලට ම අයත් සිත්වල සුදුසු පරිදි විසිරී යෙදෙන බැවින් මේ චෛතසික සය ප්‍රකීර්ණක නම් වේ.
සර්‍වචිත්ත සාධාරණ චෛතසික සත ය, ප්‍රකීර්ණක චෛතසික සය ය යන මේ චෛතසික තෙළෙස, අකුශල රාශිය ය - ශෝභන රාශිය ය යන රාශි දෙකට අයත් චෛතසිකයෝ හා යෙදෙන බැවින් අන්‍යසමාන නම් වේ.