වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

29. සංවේග පතිරූපෙන චිත්තසන්තාපෝ වඤ්චෙති.

සංවේගයා ගේ ආකාරයෙන් චිත්ත සන්තාපය වඤ්චා කෙරේ.

ලෝකයේ ඇත්තා වූ දුඃඛය භයාකාරයෙන් දක්නා ඥානය සංවේග නමි. තමාට හෝ තමාගේ හිතවතකුට හෝ දුඃඛය පැමිණි කල්හි ද මතු දුකක් පැමිණෙන ලකුණු දුටු කල්හි ද මනුෂ්‍යයාට ඇතිවන දෙය චිත්ත සන්තාපය යි. සංවේගය චිත්ත සන්තාපය යන මොහු තරමකට සමාන ස්වභාව දෙකකි. එහි වෙනස මෙසේ දත යුතු. සංවේගය කිසි කලෙක ද්වේෂ සහගත නොවේ. එය කුශල පක්ෂය හා අව්‍යාකෘත පක්ෂය භජනය කරන්නකි. චිත්ත සන්තාපය ද්වේෂය හෝ ද්වේෂ සහගත ධර්මයක් හෝ වෙයි. එය සැම කල්හි ම අකුශල පක්ෂය භජනය කරන්නකි. තමා හා කිසි සම්බන්ධයක් නැති මධ්‍යස්ථ කෙනකුගේ දුඃඛය දක්නා කල්හි ලෝකයේ සැටි මෙසේ යැ යි සිත්හි ඇති වන්නා වූ කලකිරීම සංවේගයයි. ඒ දුක පැමිණි තැනැත්තා තමා විසින් ඇලුම් කරන්නකු වී නම් ඒ අවස්ථාවේදී ඔහු සම්බන්ධයෙන් ඇති වන්නේ චිත්ත සන්තාපයයි. චිත්තසන්තාපය නිෂ්ප්‍රයෝජන දෙයකි. සංවේගය දුකින් මිදීමට කරුණු වන්නකි. චිත්ත සන්තාපය උත්සාහයෙන් දුරු කළ යුත්තකි. සංවේගය උත්සාහ කොට වුවද ඇති කරගත යුත්තකි. චිත්ත සන්තාපය ම සමහර විට සංවේගයේ වේශයෙන් පහළ වේ. එයට රැවටුණු තැනැත්තේ ඒ අකුශලය කුශලයෙකැයි වඩන්නේය.