වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

ආත්මසංරක්ෂණතා වේශයෙන් වඤ්චක ලෝභය

තමා ගේ ආත්මය හෙවත් ජීවිතය ආරක්ෂා කරන ස්වභාවය “ආත්මසංරක්ෂණතා” නමි. ජීවිතාරක්ෂාව සඳහාවත් මුදල් වියදම් කරනු නො කැමති තැනැත්තා ගේ ඒ ලෝභය ආත්ම සංරක්ෂණතා වේශය ගන්නේ ය. එයින් වඤ්චිත වූ තැනැත්තේ වැඩි මුදලට ගත යුතු ආහාර පානාදියේ නොයෙක් දොස් දකින්නේ ය. අඩු මුදලට ලැබිය හැකි ආහාර පානාදීන් ගේ බොහෝ ගුණ දක්නේ ය. ඔහු “ගුණ ලැබීමටත් රෝගවලින් වැළකී විසීමටත් හොඳ මේවා යැ”යි අඩු මුදලින් ලැබිය හැකි දෑ පමණක් ගන්නේ ය. වටිනා ආහාර පාන “අගුණය”යි ප්‍ර‍තික්ෂේප කරන්නේ ය.

සතුට ඇති වන දෑ දැකීමෙන් ද, ඇසීමෙන් ද, සිඹීමෙන් ද, ආස්වාදනය කිරීමෙන් ද, කයින් ස්පර්ශ කිරීමෙන් ද, සතුටට හේතු වන වස්තූන් ලැබීමෙන් ද ඇතිවන්නා වූ කායික චෛතසික සුඛය පිළිබඳ වූ ලෝභය සැප විඳීමේ ලෝභයයි. එය නිර්ලෝභතා පුණ්‍යකාමතා සංවිභාගශිලතාදී වේශයන්ගෙන් වඤ්චා කරන්නේ ය.