වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

සන්තුෂ්ටිතා වේශවෙන් වඤ්චක ලෝභය

වඩා හොඳ කෑම් බීම් ඇඳුම් පැළඳුම් ආදිය සොයන්නට නො ගොස් ඇති දෙයකින් පහසුවෙන් ලැබිය හැකි දෙයකින් සතුටු වන ස්වභාවය සන්තුෂ්ටිතා නමි. තමන්ට අසු වී තිබෙන දෙයින් මඳකුදු වියදම් කිරීමට නොකැමති ලෝභියාගේ ඒ ලෝභය වියදම් කළ යුතු අවස්ථාව පැමිණි කල්හි සන්තුෂ්ටිතා වේශය ගන්නේ ය. එයින් වඤ්චිත වූවෝ කවර ලෙසකින් වුවත් වියදම් කළ යුතු අවස්ථාව ඉක්මවා ධනය ම ඉතිරි කර තබා දුක සේ සැපයූ ධනයෙන් ප්‍රයෝජන නොගෙන ම මිය යති.