12. ආජීවපාරිසුද්ධි ප්‍රතිරූපතාය අසංවිභාග සීලතා වඤ්චෙති
ආජීවපාරිශුද්ධියේ ආකාරයෙන් අන්‍යයන් හා බෙදා පරිභෝග නො කරන ස්වභාවය වඤ්චා කෙරේ.
භික්ෂූන් විසින් තමන් ලත් ආහාර පාන වස්ත්‍ර භෛෂජ්‍යාදි ප්‍රත්‍යයන් නො ලැබූ අන්‍ය භික්ෂූන්ට දී බෙදා ගෙන පරිභෝග කිරීම ශාසන ධර්මය යි. තමන් ලත් දෙයින් ස්වල්පයකුදු අන්‍යයන්ට නොදී තමන් ම පරිභෝග කරන ස්වභාවය අසංවිභාගසීලතා නමි. ඒ අසත්පුරුෂ ස්වභාවය සමහරවිට ආජීව පාරිශුද්ධි කාමත්වයේ වේශය ගන්නේ ය. එයින් වඤ්චිත වූ භික්ෂු තෙමේ “අලජ්ජි දුශ්ශීලයන් හා ප්‍රත්‍ය බෙදා ගෙන පරිභෝග කිරීමෙන් තමාගේ ආජීව පාරිශුද්ධිය ද නැති වන්නේ යැ” යි කිසිවකුට කිසිවක් නො දෙන්නෙක් වන්නේ ය.