වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

අපචිතිකාමතා වේශයෙන් වඤ්චක ලෝභය

ගරු බුහුමන් කළ යුක්තන්හට ගරු බුහුමන් කරනු කැමති බව “අපචිතිකාමතා” නමි. එය ද කුශලච්ඡන්දයකි. මා පිය ගුරුවර ආදී ගරු බුහුමන් කිරීමට සුදුසු පුද්ගලයන්ට ගරු බුහුමන් කිරීමෙන් ඔවුන් සතුටු කර ඔවුන්ගෙන් ලාභ ප්‍රයෝජන වඩ වඩා ලැබිය හැකි බව දත් ඇතැම් පුත්‍ර‍ ශිෂ්‍යාදීන් කෙරෙහි මා පිය ආදීන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබීමේ කැමැත්ත වූ ලෝභය සමහර විට “අපචිතිකාමතා”වේශයෙන් හෙවත් ගරු බුහුමන් කරනු කැමති බැව්හි ආකාරයෙන් පහළ වේ. එයට රැවටෙන පුත්‍ර‍ ශිෂ්‍යාදීහු එය තමන් ගේ ගුණයක් වශයෙන් ම පිළිගෙන ලෝභ සහගත සිතින් ම මා පිය ආදීන්ට ගරු බුහුමන් කොට ඒ පිනෙන මතු ස්වර්ග සම්පත්තිය පවා බලාපොරොත්තු වෙති. එය පිනක් නො වන බව ඔවුන්ට වටහා ගැනීම අතිශයින් දුෂ්කර ය.