වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

අර්ථසංරක්ෂණතා වේශයෙන් වඤ්චක මාත්සර්‍ය්‍යය

අමාරුවෙන් සපයන්නා වූ ධනය අකාරණයෙහි වියදම් කොට නැති කර නො ගෙන ආරක්ෂා කර ගත යුතුය. එසේ නො කරන්නා හට දිළිඳු බවින් නොමිදිය හැකිය. ධනය සැපයිය යුත්තේ ද ආරක්ෂා කළ යුත්තේ ද උවමනා දෙයට වියදම් කරනු පිණිස ය. උවමනා තැනදී ද වියදම් නො කරන්නා වූ තැනැත්තාට ධනයෙන් අනාර්ථයක් මිස අර්ථයක් නැත. ධනය වියදම් කළ යුතු තැනදී ද සමහර විට මසුරා ගේ සන්තානයෙහි ඒ මසුරු බව අර්ථසංරක්ෂණතා වේශයෙන් පහළ වේ. එයට රැවටුණ මසුරා වියදම් කළ යුතු තැනදී ධනය රක්නට ගොස් සමහර විට මහත් දුක් කරදර වලට ද පැමිණෙන්නේ ය. සමහර විට ස්වල්පයක් රැක ගන්නට යාමෙන් සියල්ලම ද නැසෙන්නේ ය.