වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

සීලවිමංසන ජාතකය

එක් කලෙක බෝසතාණන් වහන්සේ බමුණු කුලයක ඉපද වැඩිවිය පැමිණ තක්සලා නුවර දිසාපාමොක් ආචාරීන් වෙතට ගොස් එහි සිප් උගන්නා පන්සියයක් මාණවකයන්ට ප්‍ර‍ධාන ව ශිල්ප උගනිමින් උන්හ. දිසාපාමොක් ඇදුරුතුමාගේ තරුණ දියණියක් ද වූවාය. ඒ ඇදුරුතුමා තමා වෙත ශිල්ප ඉගෙන ගන්නා මාණවකයන් පරීක්ෂා කොට ඔවුන් අතුරෙන් සිල්වත් කෙනකුට තමාගේ දියණිය දෙන්නට සිතා එක් දවසක් මාණවකයන් සෑම දෙනා ම අමතා කියනුයේ “දරුවෙනි, මාගේ දියණියට විවාහ මංගලයක් කරන්නට දැන් කාලය පැමිණ තිබෙන්නේය. ඒ සඳහා ඇයට ඇඳුම් පැළඳුම් වුවමනාය. නුඹලා තම තමාගේ නෑ ගෙවලින් ඇඳුම් පැළඳුම් සොරා ගෙනවුත් මට දුන මැනව. අනෙකකු දන්නා පරිදි ගෙන ආ දෙයක් මම නො පිළිගන්නෙමි. මෙය සොරෙන් ම කරන්නට ඕනෑ ය”යි කීය.

මාණවකයෝ ද මැනව යි පිළිගෙන තම තමාගේ නෑ ගෙවලට ගොස් තම තමාට අසුවූ වස්ත්‍රාභරණ සොරා ගෙනවුත් ඇදුරුතුමාට දුන්හ. එතුමා ද ගෙනෙන ගෙනෙන ලද දෙය සලකුණු කොට වෙන් වෙන් ව තබා ගත්තේ ය. බෝසතාණන් වහන්සේ පමණක් කිසිවක් නො ගෙනාහ. ඉක්බිති ඇදුරුතුමා බෝසතාණන් වහන්සේට කියනුයේ “දරුව, අන් සෑම දෙනා ම මාගේ දියණිය පිණිස වස්ත්‍රාලංකාරයන් ගෙන ආවෝය. නුඹ පමණක් කිසිවක් නො ගෙනාවෙහිය”යි කීය. එකල්හි බෝසතාණන් වහන්සේ තමා වස්ත්‍රාභරණ නො ගෙන ඒමට කාරණය පවසන්නාහු. –

“නත්ථි ලෝකේ රහෝ නාම - පාපකම්මං පකුබ්බතෝ

පස්සන්ති වන භූතානි - තං බාලො මඤ්ඤතේ රහෝ

-

අහං රහෝ න පස්සාමි - සුඤ්ඤං වාපි න විජ්ජති

යත්ථ අඤ්ඤං න පස්සාමි - අසුඤ්ඤං හෝති තං මයා”

“ආචාර්යයෙනි, පව් කරන්නා වූ තැනැත්තා හට ලෝකයෙහි රහස් තැනක් නම් නැත. පාපය මිනිසුන් නුදුටුයේ ද වන දෙවියෝ හෝ දක්නාහුය. එය අඥයා රහසකැ යි සිතන්නේ ය. මම වනාහි පව් කිරීමට රහස් තැනක් නො දැක්කෙමි. කිසිවකු නැති හිස් තැනක් ද ලොව නැත්තේ ය. යම් තැනක අනෙකකු නො දක්නෙම් ද එබඳු තැනක් නැති බැවින් මට පාපය රහසක් නො වන්නේ ය. ඔබ පිළිගනුයේ ද රහසින් ගෙනා දෙයක්ම ය. එබැවින් මම කිසිවක් නො ගෙනාවෙමි”යි කීය. දිසාපාමොක් ඇදුරුතුමා බෝසතාණන් කෙරෙහි පැහැදී දියණිය බෝසතාණන්ට විවාහ කර දිණ. අන්‍යයන් සොරා ගෙන ආ බඩු නුඹලාගේ ගෙවලට ම ගෙන යව් ය යි ඔවුනට ම දුන්නේ ය.

මේ බෝසත් සිරිත ආදර්ශයට ගෙන මායාව නමැති චිත්තෝපක්ලේශය චිත්තවඞ්කතාව දුරු කරගෙන සෘජු ගුණයෙන් යුක්ත වී නියම සත්පුරුෂයෝ වෙත්වා!