6. උභයපක්ඛ සන්තීරණ මුඛෙන විචිකිච්ඡා වඤ්චෙති
දෙපක්ෂය විමසීමේ ආකාරයෙන් විචිකිත්සාව වඤ්චා කෙරේ.
මෙහි විචිකිච්ඡාව යැයි කියනු ලබනුයේ බුදුන් වහන්සේ ගේ ධර්මය පිළිබඳව ඇතිවන සැකයට ය. ඒ ධර්මය වනාහි පින් පව්, ඒවායේ විපාක, නැවත ඉපදීම, අපාය දිව්‍යලෝක බ්‍රහ්මලෝක යන සත්ත්වාවාස, මිනිස් ඇසට නො පෙනෙන දිව්‍ය බ්‍රහ්මාදි සත්ත්ව විශේෂ, ධ්‍යාන, අභිඥා, මාර්ග, ඵල, නිර්වාණ යනාදී ගැඹුරු කරුණු හා දුකින් මිදීමේ ආකාරය දක්වන දේශනාවකි. ඒ ධර්මයට ඇතුළත් බොහෝ කරුණු සාමාන්‍ය මනුෂ්‍ය ඥානය ඉක්ම වූ විශිෂ්ට ඥාන දර්ශනයක් ලත් බුද්ධාදීන්ගේ ඥානයෙන් මිස සාමාන්‍ය මනුෂ්‍ය ඥානයෙන් දත හැකි කරුණු නො වේ. සූක්ෂ්ම දෑ බැලිය හැකි කණ්ණාඩියක උපකාරය නැතිව නො බැලිය හැකි දෙය කොතෙක් උත්සාහ කොට බැලුවත් ප්‍රකෘති ඇසට නොපෙන්නාක් මෙන් විශිෂ්ට ඥාන දර්ශනයට මිස සාමාන්‍ය ඥානයට හා වක්ෂුරාදි ඉන්ද්‍රියයනට හසු නො වන දෙය එබඳු විශිෂ්ට ඥානයක් නැති කෙනකුට කොතෙක් උත්සාහ කළත් පෙනෙන්නේ නො වේ. ඒවා ප්‍රත්‍යක්ෂ කර ගැනීමට නම් පළමුවෙන් එ බඳු ඥානයක් ලැබීමට උත්සාහ කළ යුතු ය.
ඇතැම්හු තමාට ඇති දුර්වල ඥානය සියල්ල දැනීමට ප්‍රමාණවත් එකකැයි සිතා තමා ගේ ඒ දුර්වල ඥානයට හසු නො වන නොදැනෙන සියල්ල ප්‍රතික්ෂේප කරන්නටත් තීරණය කරන්නටත් ඉක්මන් වෙති. එය මුළාවෙකි. ඒ ධර්ම දත හැකි විශිෂ්ට ඥානය නො ලැබූ තැනැත්තන් විසින් කළ යුත්තේ බුද්ධාදි උත්තම පුද්ගලයන් කෙරෙහිත් බුදුන් වහන්සේගේ ධර්මය කෙරෙහිත් විශ්වාසය තබා ඒවා ගෞරවයෙන් පිළිගෙන ඒ ධර්මයට අනුව පිළිපැදීම ය. ඇස් ඇති තැනැත්තා කියන මග නො ගොස් තමාට ම මග පෙනෙන තුරු යෑමට බලා සිටින අන්ධයා හට කවර කලෙක වත් මග යන්නට නො ලැබෙන්නාක් මෙන්, ධර්මය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ගෙන ම පිළිපදින්නට බලාපොරොත්තු වන්නහුට කිසි කලෙක ධර්මානුකූල ව පිළිපදින්නටවත් ධර්මය ප්‍රත්‍යක්ෂ කර ගැනීමටවත් දුකින් මිදීමටවත් නො ලැබෙන්නේ ය. ඒ සියල්ල ම ශ්‍රද්ධාවෙහි හෙවත් විශ්වාසයෙහි පිහිටා සිදු කර ගත ඒවා ය.
තමාට අප්‍රත්‍යක්ෂ දෙයක් අනුන් කියනු අසා එයට අනුව ක්‍රියා කරන්නා වූ තැනැත්තා හට සැක ඇතිවීම නම් අනිවාර්ය කරුණකි. බුද්ධ ධර්මය අනුව පිළිපදින්නා වූ තැනැත්තා හටත් ඒ සැකය ඇති වීම නො වැළැක්විය හැකි කරුණකි. ඒ සැකය ප්‍රතිපත්තියට මහත් බාධාවකි. ආගමානුකූලව පිළිපදින ආගමික ක්‍රියා කරන තැනැත්තා ගේ ඒ ක්‍රියාමාර්ගය ආවරණය කරන කටු වැටකි. එබැවින් විචිකිච්ඡාව නීවරණයක් යැයි ද තථාගතයන් වහන්සේ වදාළ සේක. ධර්මයට අනුව පිළිවෙත් පුරන්නා වූ පින් කරන්නා වූ කෙනකු කෙරෙහි විචිකිච්ඡාව ඇති වුව හොත් එයින් ඔහුගේ වැඩ පිළිවෙල නවතින්නේ ය. සම්පූර්ණයෙන් නො නැවතුන ද පමා වන්නේ ය. එබැවින් ස්වර්ග මෝක්ෂ සම්පත් ප්‍රතිලාභය කර ගනු කැමැතියන් විසින් දුකින් මිදෙනු කැමැතියන් විසින් ධර්මය ප්‍රත්‍යක්ෂ කරනු කැමැතියන් විසින් තමා තුළ ඒ විචිකිච්ඡාව ඇති වුව හොත් එය තමාගේ සතුරකු බව දැන වහා තමන්ගේ සිතින් පලවා හැරීමට, යට කර දැමීමට උත්සාහ කළ යුතුය. එයට වැඩෙන්නට ඉඩ නො දිය යුතුය. ශ්‍රද්ධාව ම වඩා ගත යුතු ය. ශ්‍රද්ධාව වඩමින් විචිකිත්සාව දුරු කොට ක්‍රියා කරන තැනැත්තා කෙරෙහි ද සමහර විට ඒ විචිකිත්සාව විමසීමේ වේශයෙන් පහළ වන්නේ ය. එය විචිකිත්සාව ම බව තේරුම් ගත නො හෙන තැනැත්තේ එයට රැවටෙන්නේ ය. හෙතෙම “සත්‍ය කුමක් ද අසත්‍යය කුමක් දැයි සොයා ගෙන පිරිසිදු ව දැන ගෙන ම ආගමික ක්‍රියා කරන්නෙමි, ආගමික ප්‍රතිපත්ති පුරන්නෙමි” යි ද පමා වන්නේ ය. සමහර විට සම්පූර්ණයෙන් ම ඔහුගේ ආගමික වැඩ එයින් නවතින්නේ ය.