දාතුකාමතා වේශයෙන් වඤ්චක ලෝභය
“දාතුකාමතා” යනු දෙනු කැමැත්තය. එය කුශලච්ඡන්දයකි. ලෝභයට විරුද්ධ ස්වභාවයකි. එහෙත් ස්වල්පයක් දීමෙන් අනුන් සතුටු කරවීමෙන් ඔවුන්ගෙන් බොහෝ දේ ලැබිය හැකි බව හා බොහෝ වැඩ කරවා ගත හැකි බව ද තමාට අනුන් අනුකූල කරවා ගත හැකි බව ද දක්නා වූ තැනැත්තා කෙරෙහි සමහර විට ලෝභය දාතුකාමතා සඞ්ඛ්‍යාත කුශලච්ඡන්දයා ගේ වේශයෙන් පහළ වේ. දීම කුශලයක් වුව ද අනුන්ගෙන් ගැනීම පිණිස දෙන දීමනාව කුශල පක්ෂයට නො වැටේ. ගැනීමට කරන උපක්‍රයක් වූ ඒ දීම, නියම දීමක් නො ව ගැනීමේ ම කොටසකි. ලෝභ සහගත සඞ්ඛ්‍යාත කුශලච්ඡන්දයා ගේ වේශයෙන් හටගත් ලෝභය ඇති තැනැත්තා කුශලාධ්‍යාශයකැ’යි ඒ ලෝභයට රැවටී, “දීම යහපත් වැඩක් ය. කුශලයක් ය” කියා අනුන්ගෙන් ගනු රිසියෙන් ලෝභ සහගත වූ අකුශල් දීමනාව කරන්නට බස්නේ ය. දීම කුශලයක් වනුයේ ද අලෝභය, මෛත්‍රිය, ප්‍රඥාව යන ධර්මයන් ගෙන් යුක්ත වූ සිතින් කරන කල්හි ය. ලෝභය ද්වේෂය මෝහය යන මේවායින් යුක්ත වූ සිතින් කරන දීම් සියල්ල ම අකුශල වන්නේ ය.