වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

ලෝභය සත්ත්වයන් තවන සැටි

ලෝභය පිපාසයක් වැනි ස්වභාවයකි. පිපාසය හටගත්තා වූ තැනැත්තාට යම් කිසිවක් පානය නො කොට නො සිටිය හැකිය. එබැවින් පිපාසිතයා පානය කරන්නට කිසිවක් නො ලදහොත් අන් සියල්ල ම හැර පානය කරන්නට දෙයක් සොයන්නට වන්නේය. ඊට හේතුව නම්: යම් කිසිවක් බී සන්සිඳවන තෙක් ම ඒ පිපාසය සත්ත්වයාට පීඩා කිරීමය. එපරිද්දෙන් යම් කිසිවක් ගැන හටගන්නා ලෝභය ද එය ලබන තෙක් සත්ත්වයා තවන්නේ ය. ඒ තැවීම නොඉවසිය හැක්කා වූ සත්ත්වයා ඒ ලෝභය හටගත් වස්තුව සොයන්නේය. ලෝභය උපදනා කල මෝහය හා අත්වැල් බැඳ ගෙන ම උපදින බැවින් එහි ඇත්තා වූ තවන ස්වභාවය සත්ත්වයාට නො වැටහෙන්නේ ය. නමුත් සෑම ලෝභයක් ම සත්ත්වයා තවන්නේ ය. එබැවින් එය පිපාසයක් වැනි යයි කියන ලදි. මඳ ලෝභයෙහි තවන ස්වභාවය අප්‍ර‍කට වුව ද, බලවත් ලෝභයේ තවන ස්වභාවය අතිශයින් ප්‍ර‍කටය. ඒ තැවීම ද ලෝභ කරන වස්තුව නො ලැබිය හැකි වන කල්හි හා ලැබී තිබුණ ලෝභනීය වස්තුව නැතිවූ කල්හි ද අතිශයින් උග්‍ර‍ වන්නේ ය. එසේ වූ කල්හි ඒ හේතුවෙන් ඇතැමෙක් අතීසාරාදි රෝගයන්ට භාජන වෙති. ඇතැමෙක් උමතු වෙති. ඇතැමෙක් මිය යති. ඇතැමෙක් සිය දිවි නසා ගනිති.