වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි
කියවන්නප්‍රශ්නෝත්තර

ප්‍ර‍තිකූල සංඥා වේෂයෙන් වඤ්චක ද්වේෂය

ශරීරයෙහි රාගයට හේතු වන සෞන්දර්යයක් ද ඇත්තේ ය. ඥානයට විෂය වන ප්‍ර‍තිකූලත්වයක් ද ඇත්තේය. ප්‍ර‍තිකූලත්වය හැර සෞන්දර්යය පමණක් ගන්නා තැනැත්තා කෙරෙහි ශරීරය පිළිබඳ රාගය උපදී. ඒ රාගය තුනීකළ හැකි වනුයේ දුරු කළ හැකි වනුයේ ප්‍ර‍තිකූලත්වය බැලීමෙනි. එබැවින් යෝගාවචරයෝ ද සිල් රක්නෝ ද රාගය මඩිනු පිණිස ශරීරයේ ප්‍ර‍තිකූලත්වය දක්නා ඥානය උපදවති. එයට ප්‍ර‍තිකූල සංඥාව යයි කියනු ලැබේ. ප්‍ර‍තිකූලසංඥාව ඇති කර ගත් තැනැත්තන්හට සමහර විට ද්වේෂයක් ප්‍ර‍තිකූල සංඥා වේශයෙන් පහළ වේ. එයින් වඤ්චිත තැනැත්තේ තමාගේ විරුද්ධ අය දෙස ප්‍ර‍තිකූලත්වයෙන් බලයි.